
"එයාට ජීවිතේ නැති කරගන්න තරම් ප්‍රශ්නයක් තිබුණා කියලා මම දන්නෙවත් නෑ" "එයාට මොනවාද අඩු... කොහොම හරි දරාගෙන ඉන්න තිබුණා එයාට" 😔
කෙනෙක් සිය දිවි හානි කර ගත්තට පස්සේ, ඒ කෙනාගේ මිතුරන්ගෙන්, නෑදෑයන්ගෙන් මේ වගේ දේවල් නිතරම ඇහෙනවා.
එහෙම කෙනෙක්ගේ ජීවිතය රැකගන්න, ඔබට කරන්න පුළුවන් මොනවාද කියලා දැනගන්න ? 🫂
ප්‍රශ්න, හැල හැප්පීම් එක්ක ජීවත් වෙන කෙනෙක්ට, මොහොතක් සංවේදීව ඇහුම්කන් දීම වගේ පුංචි දේවල් වලින්, ඒ කෙනාව ලෝකයට අහිමි වීම නතර කරන්න, ඔබට පුළුවන්. 🌼
කෙනෙක් ජීවිතයට හානි කරගන්න හේතුව මේකයි කියලා නිශ්චිතවම කියන්න අපට බැහැ. ආර්ථික ගැටළු, ආදර සබඳතාවල හෝ පවුල් ජීවිතයේ ප්‍රශ්න, රැකියාවේ ප්‍රශ්න, විභාග පීඩනය වගේ නොයෙක් දේවල් මෙයට හේතු වෙන්න පුළුවන්. 🥺 නමුත් ජීවිතය නැති කරගන්න කල්පනා කරන කෙනෙක්, ඒ කෙනාට අනෙක් අයගෙන් උදව් අවශ්‍ය බව, සිතා මතා හෝ නොසිතාම අඟවනවා.
⭕තමන් ජීවත් වෙනවාට වඩා මැරිල ගියොත් අනෙක් අය හොඳින් ඉඳියි,
⭕ජීවත් වෙන්න ආසාවක් නැහැ , ජීවිතය කිසි තේරුමක් නැහැ, මැරිල යනවා නම් හොඳයි,
⭕හිර වෙලා කොටු වෙලා වගේ දැනෙනවා, ඉවසන්න බැරි වේදනාවක් දැනෙනවා,
වැනි දේවල් පැවසීම.
⭕දේපල හෝ තමන් සතු වටිනා දේවල් පවරා දීම, හදිස්සියේ ඔප්පු ලිවීම, අවසන් කැමති පත්‍රය ලිවීම,
⭕මත්පැන් හෝ මත්ද්‍රව්‍ය අධිකව භාවිතයට ගැනීම,
⭕අනෙක් අයගෙන් වෙන් වෙලා, තනිවම ( කාමරය අගුළු දමා ගෙන ) සිටීම
⭕නොහිතන වෙලාවට අඳුරන අයට සමු දීම හෝ සමුදීමේ ලිපි ලිවීම,
" ඔයා කියන කරන දේවල් නිසා මට හිතෙනවා, ඔයා ජීවිතය නැතිකර ගැනීම ගැන හිතන බව. ඔයාගේ හිතේ එහෙම දෙයක් තියෙනවාද ?"
"ඔයා මේ වෙලාවේ, ජීවිතය නැතිකර ගැනීම ගැන හිතෙන තරම් දරුණු ප්‍රශ්නයකද ඉන්නේ ?"
ඔබ මේ විදිහට කෙලින්ම ඒ කෙනාගෙන් ඇසීමෙන්, කිසිසේත් ඔහුගේ සියදිවි හානිකර ගැනීමේ අවදානම වැඩි වෙන්නේ නැහැ. ඔබ ඒ කෙනා ගැන සොයා බලන බව දැනීම ම ඔහුට විශාල සහනයක්.
ජීවිතය නැතිකර ගැනීමේ අවදානමක ඉන්න කෙනෙක් වෙනුවෙන් ඔබට කරන්න පුළුවන් විශාල ම උදව්ව වෙන්නේ, හොඳින් සවන් දීමයි.
ඒ කෙනාගේ හිත වෙනස් කරන්න උත්සාහ කිරීම, ඔහුට තියෙන ප්‍රශ්න වලට විසඳුම් හොයල දෙන්න උත්සාහ කිරීම, ඔහු ජීවත් විය යුත්තේ ඇයි කියා කියාදීම වැනි දේවල් ඔබ විසින් නොකළ යුතුයි.
ඒ කෙනා කියන දේවල් වලට සංවේදී ව ඇහුම්කන් දෙමින් , ඔහු ළඟ සිටීම ප්‍රමාණවත්.
⚠️ඔබ සමඟ කතා කරන වේලාවේත් ඔහු ජීවිතයට හානි කරගන්න හිතමින් ඉන්න බව ඔබට දැනෙනවා නම්, ඔහුව තනි කරන්න එපා. ඔහුගේ ආරක්ෂාව ගැන විමසිලිමත් වෙමින්, හැකි ඉක්මනින් උදව් ලබා ගන්න.
සියදිවි හානිකර ගැනීම ගැන හිතන කෙනෙක් ව, පහත උපදේශන සේවා වලට යොමු කිරීම, ඒ කෙනා වෙනුවෙන් ඔබට කළ හැකි විශාල උපකාරයක්.
✅ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාව - 1926
✅CCC Line උපකාරක සේවාව - 1333 / 077 791 5293
✅ශ්‍රී ලංකා සුමිත්‍රයෝ - 0707 308 308 / 0767 520 620
මෙම සේවාවල උපදේශනය යටතේ , සිය දිවි හානි කර ගැනීම ගැන හිතන කෙනෙක් ට, හැකි ඉක්මනින් මනෝ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම සිදුකළ යුතුයි.
ඔබට පුළුවන් නම්, ඔබේ ආදරණීයයන් ගේ පුංචි වෙනස්වීම්වලට පවා සංවේදී වෙන්න, ඔවුන්ව තේරුම් ගන්න, ඔවුන්ට ඇහුම්කන් දෙන්න...
කොයි තරම් ප්‍රශ්න නිසා පීඩාවට පත්වෙලා හිටියා වුණත්, ඔවුන් තනි වෙලා නැති බව ඔවුන්ට දැනේවි. 🫂
ඔබේ පුංචි උදව්වකින්, තවත් කෙනෙකුගේ වටිනා ජීවිතයක් ආරක්ෂා වේවී ! ♥️
තවත් මේ වගේ වෛද්‍ය කරුණු ගැන දැනගන්න කැමති නම්, Medtalks අපිව follow කරන්න. ♥️