පසු ප්‍රසව විශාදය

MedTalks
March 7, 2026

ඩිප්‍රෙෂන්, දරුවන් ලැබුණු අම්මා කෙනෙකුට බොහොම ලේසියෙන් හැදෙන්න පුළුවන්. මේක වළක්වාගන්න ගෙදර හැමෝටම වගකීමක් තිබෙනවා.

දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්ව, සැමියා සහ පවුලේ අය ඉතාම ආදරයෙන් රැක බලා ගන්නවා. නමුත් දරුවා ලැබුණාට පස්සේ හැමෝගෙම අවධානය යන්නේ අලුත උපන් දරුවාට.

එවිට අම්මාට පවුලේ අයගෙන් අවශ්‍ය සහයෝගය සහ ආදරය නොලැබී යන්න පුළුවන්. මෙය මවගේ මානසික සෞඛ්‍යයට අහිතකර ලෙස බළපාන්න පුළුවන්.

අම්මලාගෙන් 70%ක් පමණ, නිතර වෙනස් වන සුළු හැඟීම්බර මානසික ස්වභාවයක් පෙන්වනවා. නමුත් එය සතියකින් හෝ දෙකකින් මඟහැරී යනවා.

අම්මලාගෙන් 15% පමණ, පසු ප්‍රසව විශාදය කියන මානසික රෝග තත්ත්වයට පත්වෙනවා. මෙය දරු ප්‍රසූතියෙන් සති 12ක කාලයකදී ඇතිවුණත්, ප්‍රසූතියෙන් පසු පළමු අවුරුද්ද තුළ මෙය ඇතිවීමට ඉඩකඩ තිබෙනවා.

දරුවෙකු ලැබුණු අම්මා කෙනෙකුට, ඩිප්‍රෙෂන් තියෙනවද කියලා හඳුනා ගන්නේ කොහොමද ?

⚠️නිතර කණගාටුවෙන් සිටීම, නිතර හැඬීම

⚠️බිළිඳාට හානි කිරීමේ සිතුවිලි ඇතිවීම

⚠️තමා ගැන හෝ බිළිඳා ගැන ඇති උනන්දුව අඩු වීම, උදාසීන වීම, බිළිඳාට ආබාධ ඇති බව පෙනීම

⚠️තමන්ගේ දරුවා රෝගී වේවි, දරුවාට කිරි මදි වේවි වැනි අසුභවාදී සිතුවිලි ඇති වීම

⚠️නිදා ගැනීම අපහසු වීම හෝ බොහෝ වේලාවක් නිදා ගැනීම

⚠️තමන්ගේ ජීවිතය ගැන කළකිරීමක් ඇතිවීම, ජීවිතයට හානි කර ගැනීමට උත්සාහ කිරීම

මේ මානසික රෝගයට හේතුව සහ මේක වළක්වා ගන්නේ කොහොමද ?

මෙම රෝගය ඇති වීමට, ගර්භණී සමයේ දී හෝමෝන වල සහ, ශරීරයේ ඇතිවන වෙනස් කම් බළපානවා. ඒ වගේම සැමියාගේ ආදරය නැති වීම, සැමියාගේ නිවසේ ඉන්නවා නම් නැන්දම්මාගෙන් සිදුවන බළපෑම, මෙම රෝගයට හේතු වෙන්න පුළුවන්. පසු ප්‍රසව විශාදය, මානසික රෝග තත්ත්වයක් නිසා, අනිවාර්යයෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතුයි.

එය ඉබේ මගහැරේවි යැයි සිතා, වෛද්‍ය ප්‍රතිකාර නොගත්තොත්,

🚫 මවට ඉදිරි කාලයේදී විශාදය ඇතිවෙන්න පුළුවන්

🚫 මවගේ සහ දරුවාගේ බැඳීම අඩු වී, දරුවාගේ මානසික වර්ධනය අඩුවිය හැකියි.

ඔබ ගර්භණී හෝ, දරු ප්‍රසූතියක් සිදුකළ මවක් නම්, මේ ලක්ෂණ එකක් හෝ කීපයක් තිබෙනවා නම්, ඔබේ සැමියා, පවුලේ අය හෝ, වෙනත් හිතවතුන් සමඟ ඒ ගැන කතා කරන්න.

ඒ වගේම ඔබේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගෙන්, පසු ප්‍රසව සායනයේදී, සහ වෛද්‍යවරයාගෙන් ඔබට උපදෙස් ලබා ගන්න පුළුවන්.

ඔබ දරු ප්‍රසූතියක් සිදුවූ නිවසක, සැමියා, නැන්දම්මා කෙනෙක් හෝ, පවුලේ වෙනත් කෙනෙක් නම්,

✅ බිළිඳා රැකබලා ගන්න උදව් කරන්න

✅ ගේ දොර වැඩවලට මවට සහාය වෙන්න

✅ මවට අවශ්‍ය විවේකය ලබා දෙන්න

✅ මව ගන්නා බෙහෙත් නිවැරදි මාත්‍රාවෙන් නිවැරදි වෙලාවට ගන්නවාද කියලා සැළකිලිමත් වෙන්න

✅ මවට අවශ්‍ය පෝෂණය ලැබෙන පරිදි ආහාර පාන ලබා දෙන්න.

මේ මඟින් මවගේ මානසික තත්ත්වය යහපත්ව තියාගෙන, ඇයගේත් බිළිඳාගේත් නිරෝගි බව තහවුරු කරන්න පුළුවන්.

crossmenu