
ඔයා හරියට වතුර බොන්නේ නෑ නේද ? වතුර අඩුවෙන් බීලා ඇඟ විජලනය වුණොත්, (ඇඟ වේලුණොත්) ඔයාට මුත්‍රා ගල් හැදෙන්න පුළුවන් කියලා ඔයා දන්නවාද ?
ඔයාගේ මුත්‍රා වල තියෙන ඛනිජ සහ අම්ල ලවණ කැටි ගැහිලා තමයි මුත්‍රා ගල් හැදෙන්නේ. ඔයාට මුත්‍රාගල් තියෙනවාද කියලා දැනගන්නේ කොහොමද ?
ඔයාගේ වකුගඩු වල, මුත්‍රා නාල වල, ඒ වගේම මුත්‍රාශයේ මේ වගේ මුත්‍රා මාර්ගයේ නොයෙක් තැන් වල මුත්‍රාගල් ඇතිවෙන්න පුළුවන්.
වකුගඩු වල මුත්‍රා ගලක් තිබුණොත් කොන්දේ යට හරියේ පැත්තකට වෙන්න, දිගටම තියෙන කැක්කුමක් දැනෙන්න පුළුවන්.
මුත්‍රා නාල වල ගලක් ඇති වුණොත්, ඔයාගේ යටි කොන්දේ පැත්තක ඉඳන් යටි බඩ දිහාවට විහිදෙන, දරාගන්න ඉතා අමාරු වේදනාවක් ඇති වෙන්න පුළුවන්. මේක සැරින් සැරේට ඇතිවෙන ඉතා දරුණු වේදනාවක්.
ඒ විතරක් නෙමෙයි, වමනය යන එක, වමනෙට එනවා වගේ දැනෙන එක, ගොඩක් දාඩිය දාන එක වගේ දේවලුත් වෙන්න පුළුවන්.
මුත්‍රාගල් තියෙන කෙනෙක්ට මුත්‍රා ආසාදන හැදෙන්න ලොකු ඉඩක් තියෙනවා. එහෙම වුණොත් එහෙම ඔයාට, අපි අර කලින් කියපු ලක්ෂණ වලට අමතරව, මුත්‍රා දැවිල්ල සහ උණ ඇතිවෙන්න පුළුවන්.
අපි කියපු රෝග ලක්ෂණ ඇතිවෙලා ඔයා වෛද්‍යවරයෙක්ව මුණ ගැහුණාම, ඔයාට මුත්‍රා ගලක් තියෙනවාද කියලා තහවුරු කරගන්න, වෛද්‍යවරයා ඔයාගේ x-ray පරීක්ෂාවක් සිදු කරනවා.
සමහර අයට මුත්‍රාගලක් තියෙනවාද කියලා තහවුරු කරගන්න CT පරීක්ෂාවක් කරන්න අවශ්‍ය වෙන්න පුළුවන්.
මුත්‍රා ගල් නිසා ඇතිවෙන අපි කියපු රෝග ලක්ෂණ ඔයාට කොයි වෙලාවක හරි හැදුණොත්, ඉක්මනින් වෛද්‍යවරයෙක් හමුවෙන එක ගොඩක් වැදගත්.
මොකද එහෙම නැතිවුණොත් මුත්‍රා ආසාදන වගේ නොයෙක් සංකූලතා ඔයාට ඇතිවෙන්න පුළුවන්.
ඉතින් හරියට වතුර බොන්නේ නැති ඔයා දන්න හැමෝටම මේ පණිවිඩය කියලා, එයාලාව මුත්‍රාගල් ගැන දැනුවත් කරන එක, ඔයාගේ වගකීමක්.